Skip links

ආයෝජන ප්‍රවර්ධන කලාපවල ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට වහා පියවර ගන්න – ඩා බිඳු සාමූහිකය ඉල්ලයි.

කොවිඩ් 19 ගෝලීය වසංගතයේ ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර යද්දී රට වසා දැමීමට රජය පියවර ගෙන තිබේ. ඒ වෘත්තීය සමිති ඇතුළු විවිධ පාර්ශවවල ඉල්ලීම පරිදිය. 2021 අගෝස්තු 21 වන දින සිට ඉදිරි දින 10ක් සඳහා කළ වසා දැමීම මේ වනවිට සැප්තැම්බර් 06 වැනිදා තෙක් දීර්ඝ කර තිබේ.

එහිදී අත්‍යවශ්‍ය සේවා හැර සෙසු රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් වසා දමනු ලැබූවද නිදහස් වෙළඳ කලාපවල කර්මාන්ත වසා දැමීම කළ නොහැකි බව බලධාරීහු පවසති. ඒ මේ අවස්ථාවේ මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය යම්තාක් දුරකට සමනය කරගත හැකි වන්නේ ආයෝජන ප්‍රවර්ධන කලාප මගින් නිසා විය යුතුය. එසේම පසුගියදා ජාතිය ඇමතූ ජනාධිපතිවරයාද කර්මාන්ත ශාලා විවෘත කර තැබීමේ වැදගත්කම අවධාරණය කළේය. එහෙත්, නිදහස් වෙළඳ කලාපයන්හී සේවයේ නියුතු පිරිස්වල සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම හෝ ඔවුන්ට අවශ්‍ය අනෙකුත් පහසුකම් සම්පාදනය පිළිබඳ කිසිදු අදහසක් එහිලා ප්‍රකාශ වූයේ නැත.

අපනයන ඉලක්ක සපුරා ගැනීමට උත්සාහ කරමින් තිබියදී, රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය උපයා දෙන රට පුරා පිහිටි ආයෝජන ප්‍රවර්ධන කලාපවල සේවයේ නියුක්ත ශ්‍රමිකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට අදාල අත්‍යවශ්‍ය පියවර ගෙන නොමැති බව ඩා බිඳු සාමූහිකයද අවධාරණය කරයි. වසංගතය ආරම්භක අවස්ථාවේදීද ඔවුන් බරපතල අපහසුතා රැසකට මුහුණ දුන් බව පවසන ඩාබිඳු සාමූහිකය රජයෙන් ඉල්ලා සිටින්නේ වහා මැදිහත් වී ගැටලු විසඳීමට පියවර ගන්නා ලෙසයි.

නිදහස් වෙළඳකලාපවල සේවක අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන කිහිපයක් සමග පසුගියදා පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ඩා බිඳු සාමූහිකය වෙනුවෙන් චමිලා තුෂාරි පෙන්වා දුන්නේ, කාන්තා ශ්‍රමිකයන් සම්බන්ධ තත්ත්වය අතිශයින් සංවේදී බවයි. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට ලිපියක් යොමු කරමින් එම සංවිධාන ප්‍රකාශ කරන්නේ කාන්තාවන් බහුතරය සේවය කරන නිදහස් වෙළඳ කලාප සංවේදී පරිශ්‍ර ලෙස සැළකිය යුතු බවයි.

“ඩොලර් ද මනුෂ්‍ය ජීවිතද?” මැයෙන් පැවැත් වූ මෙම මාධ්‍ය සාකච්ඡාවේදී, ඊට සම්බන්ධ වූ පිරිස අවධාරණය කළේ විදෙස් ඇණවුම් වෙනුවෙන්, කර්මාන්ත ශාලා වසා නොදැමීමේ පියවර අගය කරන ඒවායේ හිමිකරුවන් ශ්‍රමිකයන්ට අවශ්‍ය මූලික පහසුකම් නොදෙන බවයි.

මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ඩාබිඳු සාමූහිකයේ චමිලා තුෂාරි වැඩිදුරටත් ප්‍රකාශ කළේ, වසංගතයේ ගොදුරු බවට පත් වූ ශ්‍රමිකයන් ගැන සොයා බැලීමට කිසිවෙකු උනන්දු නොවන බවයි. රටේ ආර්ථිකය කඩා වැටී අවස්ථාවක විදේශ විනිමය වුවමනාව මත සේවයට කැඳවන ඔවුන්ගේ ගරුත්වය, රැකියා සුරක්ෂිත බව, සෞඛ්‍යාරක්ෂාව, සමාජ සංරක්ෂණය ආරක්ෂා කිරීමට බලධාරීන් පියවර ගත යුතු බවද ඇය එහිදී අවධාරණය කළා ය.

චමිලා තුෂාරි මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්

Leave a comment

  1. Take immediate action to protect the health of workers in Free Trade zones – Da Bindu Collective urges – Dabindu Collective
    Permalink
This website uses cookies to improve your web experience.